පාස්කු වන්දි නඩුවේ පූජිත් – නිලන්ත ගොනු කළ විරෝධතා විසිවෙයි…

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව පවරා ඇති වන්දි නඩුකර පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කාලාවරෝධීව ඇති බවට එකී වන්දි නඩුවල විත්තිකරුවන් වන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයවලුන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා විසින් ඊයේ (11දා) ප්‍රතික්ෂේප කරන තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණය හමුවේ වන්දි නඩු 182ක් ගොනුකර තිබූ අතර එම වන්දි නඩුවල හතරවන හා පස්වන විත්තිකරුවන් ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් නම් කර තිබිණි.

සිය සේවාදායකයන් දෙදෙනාම පොලිස් නිලධාරීන් ලෙස කටයුතු කළ අය නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාළ සිදුවීම් සිදුවී මාස තුනක කාලයක් ඇතුළත පැවරිය යුතු බවට විත්තියේ නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළහ. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් ඇතුළත එම නඩු පැවැරීම සිදුකර නොමැති නිසා එම වන්දි නඩු මූලාරම්භයේදීම ප්‍රතික්ෂේප කළයුතු බව එමගින් විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාව මගින් කියා තිබිණි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා පළ කළ පැමිණිල්ලේ නීතිඥවරුන් සඳහන් කළේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ පොලිස් නිලධාරීන් වගකිව යුතු බවට තමන් දැනගනු ලැබුවේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව බැවින් එය දැනගත් වහාම නඩු පැවරීමට පියවර ගත් බවයි.

විත්තිකරුවන්ගේ විරෝධතාවය නඩු විභාගය අතරතුර ඉදිරිපත් වන සාක්‍ෂි මගින් සනාථ කරගත යුතු වන කාරණයක් වන බැවින් එය මූලිකව විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස පිළිගත නොහැකි බව දිසා විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.

එකී නඩුව ලබන 13 වැනිදා විභාගයට නියම කිරීම සඳහා කැඳවීමට ද දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා නියම කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *