පොලිස් ලොක්කන්ගේ අසීමිත වත්කම් සොයයි.!

සිය සේවා කාලය තුළ ලබන වැටුප් හා දීමනා වැය නොකර ඉතිරි කර ගැනීමෙන් පවා ලබාගත නොහැකි දේපොළකට හිමිකම් කියන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් මේ වන විට තොරතුරු රැස් කරමින් සිටියි.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ දේපොළ ඇත්තේ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ගේ නම්වලින් බව ද බුද්ධි අංශ වෙත පෙනී ගොස් ඇත. අදාළ නිලධාරීන් පොලිස් සේවයට එක් වන විට නොතිබුණු දේපොළක් පවුලේ උදවියට හිමි වීම පිටුපස ඇත්තේ අල්ලස, දූෂණය සහ වංචාව බව බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය.

විශාල දේපොළක් පහළ නිලධාරීන්ට නැති බවත් වැඩිම දේපොළ සහ වත්කම් හිමිව ඇත්තේ ඉහළ පොලිස් නිලධාරීන්ට බවත් පෙනී යන්නේ යැයිද එම නිලධාරියා කීය.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ නිවෙස් මාළිගා බඳු ඒවා බවත් පොලීසියෙන් ලැබෙන වැටුපෙන් එවැනි නිවාස ඉදිකරවා ගැනීම යනු සිහිනයක් බවත් එම බුද්ධි නිලධාරියා පැවසීය.

දූෂිත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් කෙ‍ෙරන බුද්ධි විමර්ශනයකදී ලබන වැටුපට වඩා අසීමාන්තික දේපොළ හිමි පොලිස් නිලධාරීන් ගැන තොරතුරු හෙළිවන්නට වූ බව ද එම නිලධාරියා කීය.

ඇතැම් පොලිස් නිලධාරීන් පොලිස් සේවයේ නිරතව සිටින අතරතුර ව්‍යාපාරවලද නිරතව සිටින බවත් ලොරි රථ, බස් රථ, ට්‍රක් රථ විශාල ප්‍රමාණයන් හිමි ව්‍යාපාරික පොලිස් නිලධාරීන් ද සිටින බව පෙනී යන බවත් එම නිලධාරියා පැවසීය.(දිනමිණ)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *