විද්‍යා ඝාතන නඩුව: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 4ක සිරදඬුවමක්.!

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වවුනියාව මහාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

යාපනයේ පාසල් සිසුවියකගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් ශෂිකුමාර්ට පළායෑමට ආධාර කිරීම සම්බන්ධයෙන් වූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දඬුවම නියම කරන ලදී.

2015 දී වාර්තා වූ මතභේදාත්මක සිදුවීමක් වන සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ නඩුවේදී ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උදව් කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවනු ලැබුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාන්ත් නාගරත්නම් විසිනි.

18 හැවිරිදි පාසල් සිසුවියක් වන සිවලෝගනාදන් විද්‍යා 2015 මැයි මාසයේදී උතුරේ පුන්ගුඩුතිව් දූපතේදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කරන ලදී.

ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහලිංගම් සසිකුමාර් නොහොත් ස්විස් කුමාර්, පුන්ගුඩුතිව්හිදී ගම්වැසියන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදෙන ලදී.

විද්‍යා ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත්දෙනෙකුට යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *