අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි.!

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.

කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම පාහේ වෙසක් තොරණ, පහන් කූඩු හා දන්සැල් වැනි ආමිස පූජා ද අද දිනයේ සංවිධාන කර ඇත.

බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබීය.

සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍රවන බවට එහිදී සීහ නාද පැවැත්විය.

ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්මගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතුමහා රුක් සෙවණේ භාවනාවට සමවැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවයි.

එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් විය.

සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයණේදී අනුපදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාලහ.

වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයකි.

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.

එහිදී උන්වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනකයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *