බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
මෙම පෙත්සම් අද (24) ප්‍රීති, පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන්නේය.
එම නිසා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනම් දින ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් මැයි මස 06, 07 සහ 08 යන දිනවල විභාගයට ගැනීමට දින නියම කළේය.
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත්හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් ඉදිරිපත් කර තිබුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න