ශ්‍රී ලාංකිකයන් ඇතුළු අමෙරිකාවෙන් පිටුවහල් කළ සංක්‍රමණිකයන් 100ක් පැනමාවේ වනාන්තර කලාපයකට දාලා.!

ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඇතුළුව පසුගිය සතියේ අමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 100 කට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි පැනමා අගනුවර පිහිටි හෝටලයක සිට එරට ඩැරියන් වනාන්තර කලාපයට මාරුකර ඇති බව පැනමා රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පැනමා ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඉකුත් දා අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 299 දෙනාගෙන් 13 දෙනෙකු ඔවුන්ගේ මව් රටවලට ආපසු යවා ඇති බවයි.

එලෙස මව් රට බලා යෑමට කැමැත්ත පළකළ තවත් 175 දෙනකු පැනමා නගරයේ හෝටලයක රැඳී සිටි බව ද එම අමාත්‍යංශය පවසයි.

පැනමා රජයට අනුව, එම සංක්‍රමණිකයන් ප්‍රාදේශීය බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සහ අමෙරිකාවට සම්බන්ධ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය හරහා අමෙරිකාවේ මූල්‍ය ආධාර යටතේ අදාළ හෝටලයේ රැඳී සිට තිබේ.

එම සංක්‍රමණිකයන් අතර ඇෆ්ගනිස්ථානය, චීනය, ඉන්දියාව, ඉරානය, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, තුර්කිය, උස්බෙකිස්තානය සහ වියට්නාමය යන රටවලින් පැමිණි පුද්ගලයන් සිටි බව පැනමා ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ පවසා ඇත.

ඔවුන් පැනමාවට පැමිණ ඇත්තේ අමෙරිකාවෙන් පිටුවහල් කළ පසු එම පිරිස භාරගැනීමට පැනමාව කැමැත්ත පළකිරීමෙන් අනතුරුවය.

අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණිකයන් පිටුවහල් කරමින් සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *