බදු නොගෙවා කන්ටේනරයක සඟවා මෙරටට ගෙනා මොන්ටෙරෝවක් එක්ක හිටපු ජනපති ලේකම් කොටුවෙයි.!

බදු නොගෙවා නීතිවිරෝධී ලෙස කන්ටේනරයක සඟවා මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 04ක් පමණ වටිනා සුඛෝපභෝගි මිට්සුබිෂි වර්ගයේ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් භාවිත කරමින් සිටි හිටපු ජනපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කල පුද්ගලයකු පානදුර වලාන පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත.

හෝටල් සමූහයක අධිපතිවරයකු වන ඔහු පසුගිය මහමැතිවරණයේදී රංගන ශිල්පියකු විසින් නායකත්වය දුන් පක්ෂයකින් මැතිවරණයට ද ඉදිරිපත්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා අවුරුදු 52ක් වයසැති අයකු වන අතර මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළ අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

ඔහු ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියදී 2013 වසරේදී අත්තනගල්ලේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී රජයේ විද්‍යුත් ජනමාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුගේ නාසය සපාකෑමක් සම්බන්ධයෙන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

පෙරේදා (11) සොයාගත් ජීප් රථය ඉතා සූක්‍ෂ්ම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සැකකරු එසේ රැගෙන ආ ජීප් රථය පරිහරණය කර ඇත්තේ මිල දී ගැනීමකින් බව පෙනීයන බව ද උසස් පොලිස් නිලධාරියා කීය.

එහෙත් ඔහු මෙම රථය මිල දී ගෙන පරිහරණය කර ඇත්තේ හොර පාරෙන් රැගෙනවිත් ඇතැයි දැනගෙන බව ද විමර්ශනවලින් පෙනීගොස් තිබේ.

මෙසේ හොර පාරෙන් ලංකාවට ගෙන්වනු ලබන වාහන, සංවිධානාත්මකව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූට ලේඛන සකස් කර පරිගණක දත්ත වෙනස් කරමින් කටයුතු කිරීමෙන් රජයට අය විය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි වීමක් සිදු වී ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.(දිනමිණ)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *