ශ්‍රීලංකන් අක්‍රමිකතා ගැන හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්.!

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්ගලික) සමාගම්වල සිදුවී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර ඇත.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් විය.

එහිදී, ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුනොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙම සිදුවීම් පිළිබඳව ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත්, එම තත්ත්ව නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදු වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කමිටුවට දැනුම් දුන්නේය.

මෙම විශේෂ විමර්ශන කමිටුවට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයන් වෙත ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිණ.

ඒ අනුව, මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ මහතාද, සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න යන මහත්ම මහත්මීහුද කටයුතු කරති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *