අල්ලස් ගත් හිටපු ඉඩම් නිලධාරියකුට වසර 22ක සිරදඬුවමක්.!

තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද (25) නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, අල්ලස් පනතේ 26වන වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළේය.

එම දඩ මුදල ද නොගෙවන්නේ නම් අමතරව වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව අගතියට පත් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ඉඩම් නිලධාරියකු වන 67 හැවිරිදි තැනැත්තෙකුටය.

පැමිණිලිකරු විසින් මහවැලි කලාපයේ තිබෙන ඉඩම්වල ගස් මිලදීගෙන ඒවා කපා මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

මෙසේ මිලදී ගත් ගස් කැපීම සඳහා පැමිණිලිකරු විසින් ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිට ඇති අතර, එම බලපත්‍ර ලබාදීම සඳහා විත්තිකරු විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබේ.

පසුව 2016 වසරේ මාර්තු මස 14 වනදා අදාළ අල්ලස් මුදල විත්තිකරු විසින් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *