ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා – මන්මෝහන් සිං

ඉන්දියාව බංකොලොත්භාවයෙන් මුදාගත් නායකයා ලෙස ප්‍රකට මන්මෝහන් සිං ඊයේ (26) රාත්‍රියේ නවදිල්ලි රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දියාව තුළ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලබා තිබේ.

අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කර ඇති අතර, ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට ඔහු සමත්ව ඇත.

එහිදී ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය අවසන් කළ ඔහුගේ අවසන් නිබන්ධනයේ තේමාව වී තිබුණේ අපනයන සහ නිදහස් වෙළඳාම මත පදනම් කරගත් ඉන්දීය ආර්ථිකය යන්නයි.

ඒ අනුව යළි ඉන්දියාවට පැමිණි මන්මෝහන් සිං, ආර්ථික විශේෂඥයෙක් ලෙස ඉන්දීය මහ බැංකු අධිපති ලෙස කටයුතු කර ඇති අතර, ඉන්දීය රජයේ ආර්ථික උපදේශකවරයෙක් ලෙස ද දේශීය ආර්ථිකය නඟාසිටුවීම සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

ඔහු සක්‍රීය දේශපාලනයට පිවිසියේ එවක ඉන්දීය කොංග්‍රස් රජයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස 1991 දී ලද පත්වීමෙන් අනතුරුවය.

එතැන් සිට 96 වසර දක්වා අමාත්‍ය ධුරය හොබවමින්, එකළ ඉන්දියාව මුහුණදෙමින් සිටි බරපතළ ගෙවුම් ශේෂ අර්බුදය විසඳීමට දායක වී ඇති ඔහු ඉන්දියාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට ගත් පියවර අදටත් වලංගු බවද සඳහන් ය.

ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා ලෙස මන්මෝහන් සිං හඳුන්වනු ලබන්නේ ද ඒ හේතුවෙන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *