පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියමිත උපරිම ගාස්තු පනවා ඇත.
ඒ අනුව, Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400 ක් වේ.
කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනය විසින් එම පරීක්ෂාව සඳහා රුපියල් 550ක බැගින් අය කර ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
එහිදී විත්තිකාර ආයතනය අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණය විසින් එම ආයතනයට රුපියල් ලක්ෂ 30ක, එනම් රුපියල් මිලියන 03ක දඩයක් නියම කර ඇත.
තවද, සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී ඇත.
ඔබ ගෙවන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ලබා ගන්නා ලෙසත් එය ඔබේ පාරිභෝගික අයිතියක් වන අතර, අවශ්‍ය අවස්ථාවක වැදගත් සාක්ෂියක් ලෙස එය භාවිත කළ හැකි බවත් ඔහු පවසයි.
නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකිය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න