ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට – පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි.

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.

මෙහිදී 4 හැවිරිදි පිරිමි දරුවෙකු හා 3 හැවිරිදි ගැහැණු දරුවෙකුටද වෙඩිවැදීමෙන් තුවාල සිදුවූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවත් වෛද්‍ය කණ්ඩායම් දරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරමින් සිටින බවත් ය.

මෙම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ 44 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

ජින්තුපිටිය 125 වත්ත නම් ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබූ අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *