හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා පසුගිය මාස එකොළහ හමාරක කාලසීමාව ඇතුළත මිලියන 1448 ක පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේය.
ඒ අතරින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා මිලියන 710 ක්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා මිලියන 207 ක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා මිලියන 307ක්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය මාස තුනක කාලසීමාව සඳහා ආරක්ෂක වියදම මිලියන 82ක්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂක වියදම සඳහා මිලියන 110 ක්, හේමා රණසිංහ ජනාධිපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා මිලියන 32ක් ලෙස වියදම් සිදුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සඳහා මේ වන විට හමුදාවෙන් 228 දෙනෙකු සහ පොලිසියෙන් 60 දෙනකු අනුයුක්ත කර ඇති බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් 4 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු යොදවා ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් 188 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 22ක් යොදවා ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් 57 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු යොදවා ඇති බවත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු යොදවා ඇති බවත්, හේමා රණසිංහගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු යොදවා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ජනතාවගේ මුදලින් හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි පිරිවැයක් යොදවා තිබියදීත්, තවදුරටත් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා නැගීම හුදු පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා යම්කිසි පිරිසක් විසින් සිදුකරන ජනතාව නොමඟ යැවීමක් බවත් ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න