‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරැඹෙයි.!

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරේ.

මෙම වැඩසටහනට ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර තිබෙන අතර ඔවුන් ඇතුළු කලාකරුවන්, ක්‍රීඩකයන් සමග ආරාධිතයන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

සමාජයීය පාරිසරික හා ආචාරධර්ම පිබිදීමක් ඔසවා තැබීම අරමුණු කරගෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගති සමාලෝචනය නියමිත කාලවකවානුව තුළ අවසන් කිරීම කාර්යසාධක බළකායේ අරමුණු වී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩසටහනට සමගාමීව කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළ ඇතුළු තෝරාගත් ස්ථාන කිහිපයක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එහිදී මූලික මිනිස් අවශ්‍යතා සපුරාගත හැකි ආකාරය ඇතුළු සංවර්ධන කටයුතු නගර ඉලක්ක කරගෙන මෙම වැඩසටහන පළමුව ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා ඊයේ (30දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

දේශපාලන භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන රාජ්‍ය, පෞද්ගලික ආයතන මෙන්ම මහජනතාවගේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *