තත්පර 42න් විකිණෙන ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ මහාපරිමාණ ඊ ටිකට් ජාවාරමක් ගැන අනාවරණයක්.!

විදේශිකයන්ගේ වැඩි ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ සියල්ල විකිණී අවසන් වීම පසුපස මහාපරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මෙම ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සෑම සති අන්තයකදීම අන්තර්ජාලයට ටිකට්පත් 200ක් පමණ නිකුත් කරන අතර, මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයන්ට රුපියල් 16,000ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බව ද හෙතෙම කීය.

කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල්කරන පුද්ගලයන්ගේ සහාය ලැබෙන බවට තොරතුරු පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහතදී අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ මුදාහැර බලා සිටියදී තත්පර 42ක් වැනි කෙටි කාලයකදී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදුකරන බවට සැකයක් පවතින බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ වාර්තාව මෙතෙක් නොලැබුණු බවත් කී ඒ හෙතෙම, මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇතැයි ද අවධාරණය කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *