පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් පෙරේදා (14දා) පැවැත්වූ සාකච්ඡාවේ එකඟතා ඊයේ (15දා) වන විට අර්බුදයකට ලක්ව තිබිණි.
එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහ ඒවායේ තනතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධව ඊයේ කැඳවා තිබූ දෙවැනි සාකච්ඡාව පක්ෂ නායකයන් වර්ජනය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පෙරේදා (14දා) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට සහභාගි වූ නමුත් ඊයේ පක්ෂ මහ ලේකම්වරුන් සමග කැඳවා තිබූ සාකච්ඡාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.
කාරියවසම් ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
“අපි පක්ෂයක් හැටියට වෙනම ගමනක් යන පිරිසක්. සමගි ජන බලවේගයත් එහෙමයි. එම නිසා අපි අතර බලය පිහිටුවීමට සන්ධානගතවීමක් නැහැ. එම නිසා අපි එවැනි තැනකට ලඝුවීමේ සූදානමක් නැහැ. අපි බලය පිහිටුවීම සඳහා කටයුතු කරන්නේ ජනතාව ලබාදුන් වරම මත සිට. ජනතාව විසින් ජාතික ජන බලවේගයට බලය ලබාදුන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ඒ අයට ඇති අයිතියට අපි බලපෑම් කරන්නේ නැහැ. නමුත් බහුතර පළාත් පාලන ආයතනවල ආණ්ඩුවට විරුද්ධව දී ඇති ඡන්ද ප්‍රමාණය තමයි බහුතරය. ඒ කැමැත්ත ආණ්ඩුවට විරුද්ධ නිසා අපි ඒ අනුව කටයුතු කරනවා” යැයි කීය.
මේ අතර සර්ව ජනබලවේගයේ නායක දිලිත් ජයවීර පෙරේදා පැවති සාකච්ඡාවට දුරකථනයෙන් එක්වූ බවට එජාපය මාධ්‍ය නිවේදනයක් මගින් සඳහන් කර තිබුණ ද තමා එවැන්නකට සහභාගි නොවූ බව දිලිත් ජයවීර ඊයේ ප්‍රකාශ කර තිබිණි.
පෙරේදා පැවති සාකච්ඡාවෙන් පසුව එජාපය ප්‍රකාශ කර තිබුණේ එම බලය පිහිටුවීම පිළිබඳ සන්ධානගතවීම එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිදුවනු ඇති බව ප්‍රකාශයට පත් කිරීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයක් හැටියට බලය පිහිටුවීමට කැමති බවත්, එය සිදුවිය යුත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නම් වඩා උචිත වනු ඇති බවත්ය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් සෙසු පක්ෂවල නියෝජිතයන් සඳහන් කළේ තමන්ට හැකි අයුරින් සාකච්ඡා සඳහා සහභාගි වන බවයි.
මේ අතර පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන්ගේ තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී ඇත.
අදාළ තොරතුරු ලද වහාම පළාත් පාලන ආයතන අනුව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න