නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන නඩු 11ක නීතිමය කටයුතු කර ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් ඉන් 3කට මේ මාසයේ නඩු පැවරීම සිදුවනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම පිටිපන පැවැති ජනහමුවේදී පැවසීය.
වැසී ගිය ෆයිල් නැවත විවෘත කරන බවත්, ඇතැම් නඩු ෆයිල් ගැන විමර්ශන කිරීමට එදා පියවර ගත්තා නම් තත්වය මීට වඩා වෙනස් වන බවත්, තමන්ගේ රැකියාව ‘අහිමි වේවි’ යන බියෙන් එම නඩු ගැන ක්‍රියා කිරීම නිලධාරීන් මගහැර ඇති බවත් ජනාධිපතිවරයා කීය.
කිසිම විටෙක තෝරාගෙන කිසිවකුට නඩු නොදමන බවත් ‘සාක්ෂි’ සහිතව ඔප්පු කළ හැකි ඒවා ගැන පමණක් ක්‍රියාත්මකව ඇති බවත් කී ජනාධිපතිවරයා, පොලිසිය තුළ ෆයිල් 29000 ක් සිරවී ඇති බව අනාවරණය වී ඇති බව ද සඳහන් කළේය.
“අවංක විමර්ශන නිලධාරීන් සිටිය ද ඔවුනට නිදහසේ කටයුතු කරන්නට තිබූ බිය අපි ඉවත් කළා. පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් දැන් නැහැ. ‘පාතාලය’ මඬින්නත් මත්ද්‍රව්‍ය හා මනුෂ්‍ය ඝාතන මැඬපවත්වන්න පොලිසියට තවත් කොටස් එකතු කරනවා. පවුල් පිටින් කිසිවකු චේතනාවෙන් යුතුව අත්අඩංගුවට ගැනීමක් අපි කරන්නේ නැහැ. පසුගිය සතියේ හිටපු ඇමති කෙනකු හා බිරිඳ අත්අඩංගුවට පත්වුණා. ඒ ඔහුගේ ‘බිරිඳ’ ලෙස නෙවේ. එදා ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලෙස ඇය කටයුතු කර ඇති නිසයි” යයිද ජනාධිපතිවරයා කීවේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න