දෙවුන්දර තරුණයන් ඝාතනය පිටුපස ලක්‍ෂ 50ක ඩුබායි කොන්ත්‍රාත්තුවක්?

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකුගේ හිසට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දෙහිගෙදර රංග සහ බාලේ මල්ලී යන සොහොයුරන් දෙදෙනා පාතාල කුලී ඝාතකයන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සිව් දෙනකු මාතර කොට්ඨාස අපරාධ අංශය මගින් ඊයේ (23දා) වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ප්‍රහාරය රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට තහවුරු නොකළ ප්‍රකාශ සඳහන් කරන අතර පොලිසිය ඒ ඔස්සේ ද පරීක්ෂණ පවත්වයි.

මෙහිදී ඝාතනයට ලක්වූ යොමේෂ් නදීෂාන් හෙවත් මීයා සහ මෙම දෙසොහොයුරන් අතර පැවති ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ 29 හැවිරිදි පසිඳු තාරක මෙම ආරවුල්වලට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

යොමේෂ් නදීෂාන්ට කාලයක සිට මරණ තර්ජන එල්ලවී තිබූ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ඊට හේතුවී තිබූ බවද පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙවුන්දර කපුගම්පුර ප්‍රදේශයේ පැවති මිතුරකුගේ උපන් දින සාදයකට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටියදීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *