රතන හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මතයි.

2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සොයා රාජගිරියේ සඳහම් සෙවනට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.

අදාළ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් එම ස්ථානයේ නොසිටි අතර උන්වහන්සේගේ ජංගම දුරකථනයද ක්‍රියාවිරහිත කර ඇත.

තමන්ව පැහැරගෙන ගොස් බියගන්වා, බලහත්කාරයෙන් ලිපි ලේඛන කිහිපයකට අත්සන් ලබාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබා ගතතේ යයි වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර කටුවන නන්දසීහ හිමි නමින් පැවිදිව සිටි අයෙකු බවයි. මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙක් සැකකරු විසිනි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *