ජාතිවාදය ඇවිලවීම ගැන ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්.!

නීතීඥ අචලා සෙනෙවිරත්න, විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර තිබේ.

පොල්ගහවෙළ ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය හා එයට සම්බන්ධ නඩුකටයුතු පිළිබඳව අධිකරණ නඩුකටයුතුවලට බාධා කරමින්, එම අත්අඩංගුවට ගැනීම් කොටි ත්‍රස්තවාදීන්ගේ සාක්ෂි මත පදනම්ව සිදු වන්නේ යැයි පවසමින් ජාතිවාදය අවුස්සීමට ගම්මන්පිල මහතා කටයුතු කරමින් සිටින බව එම පැමිණිල්ල මගින් දැනුම්දී තිබේ.

පොල්ගහවෙළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම සිද්ධියට සම්බන්ධව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දා අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න හා සම්බන්ධ සිදුවීම පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි එක් පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් හා සම්බන්ධ වුවද, එම සිද්ධිය සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගැනීම සහ පසුව අතුරුදන් කිරීමද ගැට ගැසී තිබෙන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම සියළු අතුරුදහන් කිරීම් පිටුපස නාවික හමුදාව තුළ ක්‍රියාත්මක වූ කිසියම් කණ්ඩායමක මැදිහත් වීමක් ඇති බවද අනාවරණය වී තිබේ.

එසේ තිබියදී, මෙම අත්අඩංගුවට ගැනීම් විවේචනය කරමින් සහ ඊට අදාල නඩුකටයුතුවලට බාධා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කටයුතු කරන බවට, අතුරුදන් වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අචලා සෙනෙවිරත්න විසින් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම, මෙම අත්අඩංගුවට ගැනීම් කොටි ත්‍රස්තවාදීන්ගේ සාක්ෂි මත පදනම්ව සිදු කරන බව පවසමින් හිටපු මන්ත්‍රීවරයා ජාතිවාදය අවුස්සමින් සිටින බව ඇයගේ පැමිණිල්ල මගින් පෙන්වාදී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *