ප්‍රබල පාතාල කල්ලි නායකයකු බව කියන ජේ. ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් නමැත්තා විසින් බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුනි.
එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
එහිදී අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැතිද යන නියෝගය ලබන සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (17දා) දින තීරණය කළේය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රදීප් මහමුතුගල මහතා කරුණු දක්වමින් බූස්ස බන්ධනාගාරය අධිආරක්‍ෂිත බන්ධනාගාරයක් බවට බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පත්කර තිබීම නීතිවිරෝධී බවත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් බවත් කියා සිටියේය.
බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බව පැවැසූ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා බන්ධනාගාරයේ සිදුකරන වැටලීම් හා පරීක්‍ෂණවලට යොදා ගන්නා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අතින් රැඳවියන්ට දැඩි අමානුෂික හිරිහැරවලට ලක්වන බැවින් එම නිලධාරීන් බන්ධනාගාර තුළට ඇතුළුවීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
බන්ධනාගාර කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව බන්ධනාගාර පනතේ 77 (5) වගන්තිය ප්‍රකාරව ලැබී ඇතැයි නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද පොලිසියේම කොටසක් වන බැවින් පෙත්සම්කරුගේ ඉල්ලීම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා බූස්ස බන්ධනාගාරය තුළ නිදහසේ ජංගම දුරකථන භාවිත කරමින් අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇති බව විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම පෙත්සම්කරු භාරයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගත් බවත් බන්ධනාගාරය තුළට රැගෙන එන තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම නිසා පෙත්සම්කරු එවැනි ඉල්ලීමක් කර ඇති බවත් හෙතෙම පැවැසීය.
පිරිසිදු දෑතින් මෙම පෙත්සම ඉදිරිපත් කර නොමැති නිසා එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න