මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට ජනපතිගෙන් ඇගයුම්.!

ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේය.

දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කර තිබේ.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් බවත් රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කරන බව ද මහින්ද සිරිවර්ධන මහතා එහිදී සඳහන් කළේය. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *