මහ ඡන්දෙට ආ රොත්තකට මාංචු!

පසුගිය මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් 8361 දෙනාගෙන් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් 1985 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර ස්වාධීන අපේක්ෂකයන් 690 දෙනාගෙන් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ 106 දෙනෙකු පමණක් බවත් ජාතික ලයිස්තුවල නම් සඳහන් වී තිබූ අපේක්ෂකයන් 527 දෙනාගෙන් වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ පනස් හත් දෙනකු පමණක් බවත් කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අනුව පසුගිය මහ මැතිවරණයට තරග වැදුණු අපේක්ෂකයන්ගෙන් වියදම් වාර්තා තවම භාරදී ඇත්තේ සියයට 20 ක ප්‍රමාණයක් පමණකි.

වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්ට වසර තුනක කාලයකට ඡන්ද අයිතිය අහිමිවන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.

මේ අනුව වසර තුනක කාලයක් සඳහා මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට මෙන්ම මැතිවරණ සඳහා ඉදිරිපත් වීම ද තහනම් කෙරෙනු ඇත.

එසේම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට රුපියල් ලක්ෂයක දඩයක් ද වසර තුනක සිර දඬුවමක් ද අධිකරණයෙන් නියම කළ හැකිවේ.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා ලබා දී තිබූ කාලය අද (6) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මේ අනුව මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදින් පසු පොලිසියට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පොලිසියෙන් අදාළ නඩු පැවරීම් කෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට වසර තුනක් මැතිවරණ තහනම් කිරීමට කොමිසමට බලය පැවරෙන පරිදි නව නීති සංශෝධන ගෙන එන්නැයි මැතිවරණ කොමිසමෙන් ඊයේ ඉල්ලීමක් කළ බවයි.

  • සුජිත් හේවාජුලිගේ
Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *