මහර බන්ධනාගාරය යළි කරළියට

2020 වසරේ දී මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් එහි රඳවා සිටි සිරකරුවන් හා රැඳවියන් 11දෙනකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ ආරක්‍ෂක අංශ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාර්තු 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (05දා) නියෝග කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන් ඉදිරියේ දී කැඳවිණි.

එම ගැටුමේදී මියගිය පුද්ගලයකුගේ බිරිඳ වන සම්පත් පුෂ්පකුමාර නමැත්තිය විසින් එම පෙත්සම ගොනු කර තිබිණි.

එම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇති බව පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණයට පැවැසීය.

එසේ නියෝග කොට තිබියදීත් එම සිරකරුවන් මියගොස් ඇත්තේ බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා නිලධාරීන් සිය අවම බලය පාවිච්චි කිරීම නිසා බවට අනාවරණය වී ඇති බැවින් ඔවුන්ට එරෙහිව ඉදිරි පියවර නොගන්නා බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ඉදිරිපත් කළ ලිපිය වත්තල මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්‍ෂේප කොට ඇතැයි ද නීතිඥවරයා පැවැසීය.

එකී අපරාධවලට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරන බවට නීතිපතිවරයා විසින් මින් පෙර වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබූ බවද පැවැසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා නීතිපතිවරයා එකම සිද්ධිය සම්බන්ධයෙන් මත දෙකක් දැරීම පිළිගත නොහැකි බවද කියා සිටියේය.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නිශ්චිතව හඳුනාගැනීමේ අපහසුතාව නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා තීරණය කොට ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශානක විජේසිංහ මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ එම කරුණු දැක්වීමට දැඩි විරෝධය පළ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා නීතිපතිවරයාට ස්ථාවර දෙකක් දැරීමට නොහැකි වන බවත් පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා දින නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *