ඉන්දීය අගමැති මෝදි අද අනුරාධපුරයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීම ද අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා වූ රෝහල් වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, පළාත් සභා වටරවුම, ඔරලෝසු කණුව වටරවුම සහ කුරුණෑගල හන්දිය දක්වා වූ මාර්ගයන් පෙරවරු 8.30 සිට විටින් විට වසා තබන බව පොලීසිය සඳහන් කළේය.

ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා මාර්ග සහ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් ගන්නා මාර්ග ද අද පෙරවරු 11 තෙක් විටින් විට වසා තැබීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *