මෙරට ජනතාවට චීනයෙන් දක්වන සුහදත්වයට අගමැතිනියගේ ප්‍රසාදය..

චීන රජයේ මිෂන් හාර්මනි – 2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන පීස් ආර්ක් නැරැඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා එක්වූවාය.

මෙම සංචාරයට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ශේන්හොන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාද එක්ව සිටියහ.

පීස් ආර්ක් නෞකාව දෙසැම්බර් 21 දා කොළඹ වරායට සේන්දු වූ අතර 2024 දෙසැම්බර් 22 සිට දෙසැම්බර් 27 දක්වා ශ්‍රී ලංකාවේ ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබාදීමට නියමිතය.

සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක්කළ අතර ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය. ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම චීන තානාපතිවරයා අවධාරණය කළ අතර නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාවට නැවේ අණදෙන නිලධාරිතුමා ඇතුළු නිලධාරින්ද චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

මෙම නිල සංචාරයේදී ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පීස් ආර්ක් රෝහල් නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය දෙපාර්තමේන්තුව එක්ව නෞකාව තුළදී වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය සායන පැවැත්වූහ.

එමෙන්ම, පීස් ආර්ක් රෝහල් නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරැඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත්, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත් නියමිතව ඇති අතර නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව, නාවික හා සාගරික විද්‍යා පීඨයේ හා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පුහුණු වන නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

  • දිවයින
Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *