බුද්ධාගමත් සමග ගොඩනැගුනු සම්ප්‍රදාය ශක්තිමත් සමාජයක පදනමයි – ජනපති කියයි.!

ලොව ඕනෑම සමාජයක් යහපත් කරනු ලබන්නේ එම සමාජයේ සම්ප්‍රදායන් බවත්, මෙරට සමාජය ස්ථාවර හා ශක්තිමත් සමාජයක් බවට පත්කිරීමේ දී බෞද්ධ ආගමත් සමග ගොඩනැගුනු සම්ප්‍රධාය එහි පදනම බවට පත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම පදනම බිඳවැටුන හොත් සමාජයක් ලෙස කඩාවැටීම සිදුවන බවද, රාජ්‍ය පාලනයේදීත් පුරවැසියන් ලෙසත් වගකීම වන්නේ එම සම්ප්‍රධායන් බිඳ නොවැටෙන ලෙස කටයුතු කරමින් අනාගත පරපුර වෙනුවෙන් ප්‍රවර්ධනය කොට භාරදීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මෙරට උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොමැතිව සිටි කාලයක නැවත උපසම්පදා භික්ෂුන් වහන්සේලා මෙරටට වඩම්මවා උපසම්පදාව නැවත මෙරට ස්ථාපිත කිරීමට අතීතයේදී පාලකයන් කටයුතු කළ බවද, උපසම්පදා භික්ෂුන් වහන්සේලා නොමැති වුවහොත් බෞද්ධ සම්ප්‍රදායද අහෝසිවී යන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එනිසා මෙය ආරක්ෂාකර පවත්වාගෙන යාමට රජයෙන් අවශ්‍ය නායකත්වය ලබාදීම වගකීමක් කොට සලකන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක් වෙමිනි .

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 05 වන දා අතර විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවසරකට වරක් සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය ගරු කටයුත්තක් ලෙස රජය සලකන බැවින්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොපිරිහෙලා ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අතිපූජ්‍ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ , මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, විදේශ කටයුතු , විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ , උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත කුමාර විමලසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරක්ෂක සභාවේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය , ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරක්ෂක සභාවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *