ජනාධිපති නිල නිවාස යළි රජයට භාරදීම පෞද්ගලික ප්‍රශ්නයක් හෝ කිසිවකුගෙන් පළිගැනීමක් සඳහා ගෙන ආ යෝජනාවක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවසීය.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදෙන බවට අපි පොරොන්දු වුණා. ඒ නව දේශපාලන සංස්කෘතියේ කොටසක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබානොදීම, අමාත්‍යධුරය අවසන් වනතුරු පමණක් වාහනයක් ලබාදීම ආදිය ගැන අපි සඳහන් කළා. නමුත් තවම ඔවුන්ට වාහන පවරලා නැහැ. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර, රජයේ වියදමින් ඔවුන්ට නිල නිවාස ලබාදීම ද නවත්වන බවත් අපේ අලුත් දේශපාලන සංස්කෘතිය තුළ අපි කිව්වා. ජනාධිපතිවරයෙකුට නිවසක් නොමැති නම් සහ නිවසක් ලබාගැනීමට හැකියාවක් නොමැති නම් රජයෙන් ආධාර ලබාදෙනවා” යනුවෙනි.
එම වැඩසටහනේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, තමාට කිසිවකු හෝ කිසිවකුගේ දේපළ සම්බන්ධයෙන් පෞද්ගලික තරහක් නොමැති බවයි.
රජයට ජනවරම තිබෙන බැවින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේ ක්‍රියාවලිය තුළ මෙම සියල්ල සිදුවන බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනෙකු සහ ජනාධිපති ආර්යාවක් මෙරට තුළ සිටින බවද ඔහු සඳහන් කළේය.
රජයෙන් නිල නිවසක් ලබා නොගෙන තමාගේම නිවසේ රැඳී සිටීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
”හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සැලකිය යුතු කාලයක් නැවතී සිටියේ රජයට අයත් නිවසකයි. ප්‍රශ්නය ප්‍රසිද්ධියට පත් වූ පසු ඇය එය භාරදුන්නා. කමිටු වාර්තාවකින් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය නිල නිවස භාරදුන්නා. කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු පමණක් පිටව ගොස් ඇති අතර අනෙක් අය රජය විසින් ලබා දී ඇති ඔවුන්ගේ නිවාස ලබා දී නොමැති බව හෙළිවී තිබෙනවා” ජනාධිපතිවරයා පැවසීය.
“හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන අය තවමත් ඔවුන්ගේ නිවාස රජයට පවරා දී නැහැ. පළමුව, එම නිවාසවල වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා තක්සේරු කරනු ලබනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාමේ පිහිටි නිවස පිහිටි ඉඩම අක්කර එකයි පර්චස් 13ක්. නිවස වර්ග අඩි 30,500ක් පුරා විහිදෙනවා. පදිංචිය සඳහා රජයේ තක්සේරුව රුපියල් මිලියන 3,500 යි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට අනුව, නිවසෙහි මාසික කුලිය රුපියල් මිලියන 4.6 ක්.”
“හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට කොළඹ ටොරින්ටන්හි පදිංචියට වර්ග අඩි 15,000කට වැඩි ප්‍රදේශයක් වෙන්කර තිබුණා. ඒ අනුව ඇය වර්ග අඩි 9,000කට වැඩි ප්‍රමාණයකින් යුත් නිවසක් ලබා දී ඇති අතර වර්ග අඩි 4,000ක ප්‍රමාණයක් ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට වෙන්කර තිබෙනවා. ඇගේ කාර්යාලය සඳහා තවත් වර්ග අඩි 2,000 ක් වෙන් කරලා තිබෙනවා. ඇයගේ නිවාස කුලිය සඳහා රජයේ තක්සේරුව රුපියල් මිලියන 2 ක්.”
“කෙසේවෙතත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජීවත් වන්නේ කුඩා නිවසක. රජයේ තක්සේරුව අනුව එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 9ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා,”
“මෙම ක්‍රියාවන් පළිගැනීමේ චේතනාවෙන් නෙමෙයි දේශපාලන සදාචාරයේ අවශ්‍යතාවයෙන් සිදුවන්නක්. විශ්‍රාම ගැනීමෙන් පසු මට රජයෙන් පදිංචියක් හෝ රැකවරණයක් අවශ්‍ය නොවන බව ලිඛිතව ඔබට සහතික වෙන්න පුළුවන්. මට රටේ ජනාධිපති විදියට වැඩකරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ.“
ප්‍රතිචාරයක් ලබාදෙන්න