උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින්, එය වැළැක්වීමට ගතහැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද, ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
අදාළ කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් ද පත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
පරිසර අමාත්‍යාංශයට අදාළව මේ වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එමෙන්ම අලි මිනිස් ගැටුම අවම කිරීමට 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද එහිදි ජනාධිපතිවරයා විමසා බලා ඇත.
මන්දගාමීව සිදුකෙරෙන එම ව්‍යාපෘති මිනිස් ජීවිතවලට තර්ජනයක් බවත්, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබියදී ව්‍යාපෘති ප්‍රමාදවීම අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
එබැවින් ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ සංවේදී වෙමින් ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වසරේ ලබා දී ඇති ප්‍රතිපාදන මෙම වසර තුළම වැය කරමින් අදාළ ඉදිකිරීම් සිදු කරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න