ව්‍යාජ දත්ත ඇතුළත් කර සිදුකළ වාහන මගඩියට චෝදනා ලැබූ RMV ලොක්කෝ ඇතුළු 6කට ඇප…. රජයට කළ පාඩුව කෝටි 178ක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 දා) නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද පනවා හිටපු නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ ඇතුළු හයදෙනකු එලෙස ඇප මත මුදාහළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ කොන්දේසි ද එම සැකකරුවන්ට පැනවීය.

2005 වසරේ දී මුල්වරට ලියාපදිංචි කළේ යැයි කියන එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර ව්‍යාජ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි කියන අති සුඛෝපභෝගී වාහන 178ක් අතරින් එක් වාහනයක් සැබැවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වසරේදී බවත් එකී වාහනයට අංක තහඩුව නිකුත්කර ඇත්තේ 2019 වසරේදී බවත් විමර්ශන මෙහෙය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයේ දී පවසා ඇත.

එකී වාහනයක හිමිකරුවකු යැයි කියන අටවන සැකකරුගේ නිවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුඩා ශාඛා කාර්යාලයක් බඳු වන්නේ යැයි ද, එහි තිබූ වාහන ලියාපදිංචි කිරීමට අදාළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් ලිපිගොනු හතක් සොයාගැනීමට හැකිවී ඇතැයි ද ඇය එහිදී පවසා තිබේ.

එලෙස නිසි ලෙස රේගුව මගින් නිෂ්කාශනය නොකිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි 178කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි ද අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය පෙන්වා දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *