රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.

රුපියල් පන්කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහස පමණ වටිනා “කුෂ්” සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකි.

මොවුන් තායිලන්තයේ මස් වෙළෙඳසැලක මස් කපන්නන් ලෙස සේවය කරන අය බව හඳුනාගෙන ඇත.

සැකකරුවක් අද (08) අලුයම 12.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එහිදී පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය පිටකර ගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් මොවුන් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී ඔවුන්ගේ ගමන් මලු දෙක තුළ තිබූ විටමින් අඩංගු බඳුන් 16ක සඟවා තිබූ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 496 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ඊට අමතරව ‘මිදි තලපයක්’ ලෙස බාහිරින් පෙනෙන සේ පොලිතින්වල ඔතා සකස් කර තිබූ ග්‍රෑම් 641ක ‘හෂීෂ්; මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනීමට සමත් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *