අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් පොහොර තොග ඇති හෙයින් පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා (11) මොරගොල්ලගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර බෙදාහැරීම නිරීක්ෂණයට එක්වෙමිනි.
එහිදී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.
මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර (TSP) සහ MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රටේ තිබෙනවා. ගිය යල කන්නයේදී MOP ටොන් 13,000ක් පමණ භාවිත වුණා. දැනට රටේ MOP පොහොර ටොන් 38,000ක් පවතිනවා. යූරියා සම්බන්ධයෙන් පැවති සුළු හිඟය මඟහරවා ගැනීමට අලුතින් ටොන් 25,000ක යූරියා පොහොර නැවක් දිවයිනට ආවා. රටේ පවතින පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදාහරිමින් තිබෙනවා.
යුද තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යෑමත් සමඟ නව පොහොර මිටියක සිල්ලර මිල රුපියල් 17,000ක් පමණ වෙනවා. රජයේ මැදිහත්වීමෙන් පොහොර මිටියක් රුපියල් 10,200ක සහන මිලකට ගොවීන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා.
පොහොර සඳහා ගොවීන්ගේ මූල්‍ය බර සැහැල්ලු කිරීමට රජය පොහොර සහනාධාරය ද ඉහළ නංවා තිබෙනවා. හෙක්ටයාර දෙකක් සඳහා මීට පෙර ලබා දුන් රුපියල් 30,000ක පොහොර සහනාධාරය නව ආණ්ඩුව පත්වීමත් සමඟ රුපියල් 50,000 වැඩි කළා. මේ වන විට එම සහනාධාරය රුපියල් 60,000 දක්වා දෙගුණයකින් වැඩි කර තිබෙනවා.
යුද තත්ත්වයන් හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක, ගොවි ජනතාවට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදීමට රජය කැපවී සිටිනවා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න