රාවයේ රණ හඬ, ඔබට සුබ ගමන්.!

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය.

කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි.

මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමි මාධ්‍යෙව්දියකු වූ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදාය.

අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය 71 කැරැල්ලට ලබාදුන්නේ පොඩි අතුල ලෙස පෙනී සිටිමිනි.

71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන් ඇසුරෙන් දක්නට ලැබේ.

දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසිනි.

එහි කුටප්‍රාප්තිය ඔහු රාවය සඟරාව සහ පුවත්පත් ආරම්භ කිරීමය.

රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොභියව ඔහු සිය පැන හැසිරවූ අයුරු අසමසම විය.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද සිදු කෙරේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණෙනි ඔබට සුබ ගමන්.!

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *