දුම්රියේ රෙදි නැතිවෙන විගණන වාර්තාවක් එළියට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසරේදී සැලසුම් කල දුම්රිය ගමන් වාර 1,22,426 කින් නියමිත වේලාවට ධාවනය වී ඇත්තේ ගමන් වාර 36,771 ක් පමණක් බවත් ගමන් වාර 85,655 ක් ප්‍රමාද වී ධාවනය කිරීමට හෝ අවලංගු කිරීමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ 2023 වර්ෂයට අදාල විගණන වාර්තාවේ සදහන් වේ.

දුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසරේදී මගී දුම්රිය ගමන් වාර 1,13,759 ක් සැලසුම් කර තිබූ බවද එයින් මගී දුම්රිය ගමන් වාර 36,053 ක් පමණක් නියමිත වේලාවට ගමන් කර තිබූ බවද එම විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත. නියමිත වේලාවට ගමන් කල දුම්රිය ගමන් වාර ප්‍රමාණය 30% ක් බවද අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 2023.12.31 දක්වා කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් ලබා දීම වුවත් එම කාර්යය 2023 වසරේදී 70% කින් ආසාර්ථක වී තිබෙන බවද දුම්රිය කාර්යය මණ්ඩලය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය වෙනත් අයුරකින් කිව හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය සාර්ථක වී ඇත්තේ 30% ක ප්‍රමාණයකින් බවත් එය 70% කින් අසාර්ථක වී ඇති බවත් පෙන්වා දිය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කාල සටහනකට අනුව දුම්රිය ධාවනය ආරම්භ කර ඇත්තේ 1865 දී වුවද එදා මෙදා තුර කාල සටහන් අනුව දුම්රිය ධාවනය නොවන බවට මගීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. මෙරට මගී ප්‍රවාහනයෙන් 6% ක ප්‍රමාණයක් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 6.5% ක ප්‍රමාණයක් දුම්රිය මගින් සිදුකරන බවද මෙම ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබෙන බවද විගණනයේදී තහවුරු වී තිබේ.

1934 දී දුම්රිය දේපාර්තමේන්තුවේ මාර්ගස්ථ ජාලය කිලෝ මීටර් 1521 වූ බවත් එම ප්‍රමාණය 2023 වන විට කිලෝ මීටර් 1456 ක් දක්වා කිලෝ මීටර් 56 කින් අඩු වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී ඇත. මෙම අඩු වීම සිදු ව ඇත්තේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 32 ක් අළුතෙන් එක් වූ තත්ත්වයක් තුල විම බවද විගණන නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *