රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේදී 21 හැවිරිදි තරුණියක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කර මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා රටින් පලාගොස් සිටින ජූඩ් ශ්‍යමන්ත ජයමහ නමැති විත්තිකරු සැඟවී සිටින ස්ථානය අනාවරණය කරගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කොට ඇති බව නීතිපතිවරයා ඊයේ (19දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රයක් අනුව එම නඩුව ප්‍රීති පද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා ඇති අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා විනිසුරු මඩුල්ලට පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන එම විත්තිකරු සැඟව සිටින ස්ථානය අනාවරණය කරගැනීමට පියවර ගෙන ඇති බවයි.
2005 ජූලි 1 වැනිදා සිදුවී ඇතැයි කියන ඉවෝන් ජොන්සන් නමැති තරුණියගේ මරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් විභාග කළ කොළඹ මහාධිකරණය එම විත්තිකරුට වසර 12ක සිරදඬුවමක් 2006.07.08 වැනිදා නියම කර තිබිණි.
එකී මහාධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් සලකා බැලූ අභියාචනාධිකරණය 2012.07.11 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් මහාධිකරණයේ දණ්ඩන නියෝගය ඉවත් කර විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ අභියාචනාව සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2012.10.22 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් අභියාචනාධිකරණයේ තීණ්දුවට මැදිහත් නොවීමට තීරණය කර තිබිණි. ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මරණ දණ්ඩන නියෝගය ජීවිතාන්ත සිරදඬුවමක් බවට පත්කර 2016.05.17 වැනිදා පොදු සමාවක් ලබාදී තිබූ අතර පසුව 2019.10.29 වැනිදා එම විත්තිකරුට සම්පූර්ණ පොදු සමාවක් ලබාදී තිබිණි.
එකී පොදු සමාව ලබාදී දින කීපයක් අතරතුර ඔහු රටින් පිටව ගොස් තිබිණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න