පාතාල කල්ලි පොලිසියට රිංගලා..පොලිසිය පාතාලයට යටවෙලා.!

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පවසන්නේ සංවිධානාත්මක කල්ලි පොලිසිය අතරට රිංගා ඇති බවත් ඇතැම් නිලධාරීන් එම කල්ලිවලට යටපත් වී සිටින බවත්ය.

පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ ඊයේ (26 වැනිදා) පැවැති අපරාධ විසඳීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එම වැඩසටහනේදී ප්‍රශංසා නිලධාරින් නිලධාරීනියන් 140කට රුපියල් දොකෝටි හය ලක්ෂ පන්දහසක් ත්‍යාග මුදලක් බෙදා දෙනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා,

”පොලිස් නිලධාරින්ට පැවරී ඇති නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුතුයි. නීතිය ක්‍රියාත්මකවීමෙන් පමණයි සාමය ස්ථාපිත කළ හැක්කේ.

අද සාමය ස්ථාපිත කළ නොහැකි ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් සංවිධානාත්මක අපරාධ, අනෙක මත්ද්‍රව්‍ය. මේ දෙක මැඬලීමේදී මුහුණ දෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒවාට විවිධ කාරණා හේතුවෙනවා.

සංවිධානාත්මක කල්ලි අප අතරට රිංගලා තිබෙනවා. අපේ නිලධාරීනුත් ඒ අයට යටපත් වෙලා තිබෙනවා. රටේ සුරක්ෂිත සමාජයක් ඇති කිරීම ඔබේ වගකීමක්”

එම උත්සවය සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද සහභාගී වූ අතර එහිදී අදහස් දැක්වූ හෙතෙම මෙසේ පැවසීය,

“සාමාජීය, ආර්ථික, දේශපාලන, ආගමික හා සංස්කෘතික බලපෑම් අපරාධ වර්ධනය සඳහා බලපානවා. අපරාධවල විවිධ උච්චාවචනයන් විටින් විට දැකිය හැකියි. සමාජයේ ක්‍රියාකාරකම් වැඩිවන විට අපරාධ ඉහළ යෑම සාමාන්‍ය කාරණයක්.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ 24000ක පමණ මානව සම්පත් හිඟයක් තිබෙනවා. රජය මේ අවුරුද්දේ 5000ක් බඳවා ගන්න කටයුතු කරනවා. එමෙන්ම සමාජයේ පවතින සංවිධානාත්මක අපරාධ විසඳීමට කටයුතු කරන නිලධාරින්ට අවශ්‍ය ආරක්ෂාව හා ප්‍රශංසාව පුදකළ යුතුයි.

සද්භාවයෙන් කටයුතු කරන ඕනෑම යුක්ති සහගත කරුණක් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ වගකීමක්“

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *