දේශබන්දු පොලිස්පතිකමින් ඉවත්කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි.!

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමට අදාළව ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

එම නව කමිටුව පත්කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුතුවය.

විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත ඒකනායක කමිටුවේ ඉතිරි සාමාජිකයන් වේ.

වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය ඉකුත් මාර්තු මාසයේදී නිවේදනය කර තිබිණි.

ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

පසුගිය අප්‍රේල් මාසයේදී දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා හේතුවෙන් ඔහු එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ වී නොතිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *