මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ මියන්මාර ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දරුණුතම භූකම්පනයෙන් මියගිය ගණන ඊයේ වන විට 2,056 දක්වා ඉහළ ගිය බව එරට හමුදා රජය තහවුරු කර ඇති බවයි.

පසුගිය සිකුරාදා උතුරු මැද මියන්මාරයේ මිලියන 1.5ක ජනතාව පදිංචිව සිටින මැන්ඩලයි නුවර කේන්ද්‍ර කරමින් සිදුවූ රිච්ටර් මාපකයේ 7.7ක අගයකින් යුතු එම භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස හාරදහසකට ආසන්න බවත්, තවත් පුද්ගලයන් 270ක් ආගිය අතක් නැති බවත් මියන්මාර හමුදා රජය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සන්නිවේදන පද්ධති බිඳ වැටීම හේතුවෙන් භූ කම්පනයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස කොපමණදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත්, එය දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා විශේෂඥවරුන් අනුමාන කර ඇත්තේ භූකම්පනයෙන් මිය ගිය ගණන දසදහස දක්වා ඉහළ යා හැකි බවය.

භූකම්පනය සිදුවී දින 3කට අධික කාලයක් ගත වී ඇති අතර, තවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කඩා වැටුණු නිවාස හා ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඔවුන් මුදා ගැනීම කඩිනම් කිරීමට හමුදා සහ ආපදා කළමනාකරණ සේවකයන් දිවා රාත්‍රී අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැන්ඩලායි නුවර ආසන්නයේ පිහිටි සගේන් නගරයේ සහ ඒ අවට සෙසු නගරවල රෝහල් තුවාලකරුවන්ගෙන් සහ මළ සිරුරුවලින් පිරී ඉතිරී ගොස් ඇති අතර, මළසිරුරවල දුගන්ධය නගර පුරා පැතිරී ගොස් ඇතැයි වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *