පළාත් සභාවලට අයත් වාහන 2000ක් අතුරුදන්.!

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කර තිබේ.

එසේ අතුරුදන්ව ඇති වාහන අතර විවිධ සුඛෝපභෝගි පන්නයේ මෝටර් රථ හා ජීප් රථ රැසක්ද වේ.

පළාත් සභාවල විවිධ අමාත්‍යාංශ සහ ආයතනවලට අයත් වාහන මෙසේ වරින්වර අතුරුදන්ව ඇති අතර, එම වාහන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මේ දිනවල විමර්ශනයක් කරගෙන යන බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගෙන් කළ විමසුමකදී, ඔහු පවසා ඇත්තේ, මෙම වාහන සොයාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

පළාත් සභාවල බොහෝ වාහන පසුගිය කාලසීමාවේදී වැරදි ආකාරයෙන් භාවිත කර තිබූ බවද ඔහු සඳහන් කර ඇත.

පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන කෙරුණු ඇතැම් සුඛෝපභෝගි වාහන දේශපාලඥයන්ට හිතවත් ඇතැම් සුළු නිලධාරීන් භාවිත කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මේ අතර මධ්‍යම පළාත් සභාවේ විවිධ වාහන තිස්එකකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විගණනයට තොරතුරු අනාවරණයවී නැතැයි වාර්තාවේ.

දකුණු පළාත් සභාවට අයත් යතුරුපැදිය ඇතුළු වාහන 201 ක භෞතික පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව විගණන අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්නගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ, පළාත් සභාවල වාහන සම්බන්ධයෙන්ද විශේෂ විගණනයක් මේ දිනවල කරගෙන යන බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *