දේශබන්දු රටින් පලායාමේ අවධානමක්.! සියලු ස්ථාන ආවරණය කරයි.!

වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි ස්ථාන සියල්ලක්ම ආවරණය වන ලෙස අවශ්‍ය පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් රජයේ පුවත්පතක් වන ‘දිනමිණට’ පවසා තිබේ.

නීත්‍යනුකූලව ඔහුට රටින් පිටව යාමට නොහැකිවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ගුවන් තොටුපොළ සහ වරායන් වෙත එම නියෝගය ආගමන විගමන නිලධාරීන් මඟින් ලබාදී ඇති බවද එම නිලධාරියා කීය. ඒ හැරුණුකොට නීති විරෝධි ලෙස බෝට්ටු මගින් රටින් පිටව යාම වැළැක්වීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසයි.

දේශබන්දු තෙන්නකෝන් පදිංචිව සිටි හෝකන්දර සහ ගිරිඋල්ලේ නිවාස දෙක මෙන්ම ඔහු නිතර ආගිය හිතවතුන්ගේ නිවාසද පොලීසිය පසුගිය දින කිහිපය තුළ පරීක්ෂාවට ලක්කර තිබිණි. දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නිවාස අවටද සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් එම දේශපාලනඥයන් සහ දේශබන්දු තෙන්නකෝන් අතර ඇති සමීප හිතවත්කම මත ඔහුට ඒ අයගේ රැකවරණය ලැබෙන්නේ දැයි සොයා බැලීමට මෙසේ පරීක්ෂාවෙන් සිටින බවද එම නිලධාරියා කීය. මේ තත්ත්වය මත ඔහු බොහෝ විට අද දවසේ නීතිඥ සහාය ඇතිව පොලීසියට හෝ අධිකරණයට භාරවනු ඇතැයි විශ්වාස කරන බවද එම නිලධාරියා පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ යැයි සැකකරන හෝටල් හා තට්ටු නිවාස සංකීර්ණ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුවී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *