කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “කෙහෙල්බද්දර පද්මේ” ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු රැගත් ගුවන් යානයක් ළඟා වෙමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (30) සඳහන් කළා.
මෙම පිරිස ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පිටත් වූ බවත්, ඔවුන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දුනීසියානු රජයේ සහය ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද නොහොත් පිට්ටුවා, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පාතාලයේ අපරාධකරුවන් පස්දෙනා රැගත් ගුවන් යානය තව පැය කිහිපයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතය.
ඉන්දුනීසියාවට ගොස් සිටින බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල සහ අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් ඉන්දුනීසියානු පොලිසියේ කණ්ඩායමක් මෙම පාතාල අපරාධකරුවන් රැගෙන පැමිණෙනු ඇත.
මෙම පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් එරට පැවති විමර්ශන තත්ත්වයක් මුල්කරගෙන හෙට දිනයේ ඔවුන්ව මෙරටට රැගෙන ඒමට සැලසුම් සිදුවූවත් එම විමර්ශන කටයුත්ත ඉක්මනින්ම අවසන් වීම නිසා ඔවුන්ව අද දිනයේම මෙරටට රැගෙන ඒමට ඉඳුනීසියානු පොලිසියෙන් අවස්ථාව ලැබී තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිට ගුවන් තොටුපල පරිශ්‍රයේත් ඉන් පිටතත් රැඳී සිටිමින් ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න