පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු නො මග යැවීම පිළිබඳ ව නැගෙනහිර පළාතේ පොලිස් කොට්ඨාසයක බුද්ධි අංශයේ ප්‍රධානියෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
පාස්කු ඉරු දින දේවස්ථාන කිහිපයක් හා හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදු කළ සහරාන් ඇතුලු පිරිස විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු නො මග යැවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් විමර්ශණය කරමින් සිටිනා බව වාර්තා වෙයි.
ඊට අදාළව චෝදනා එල්ලවී ඇති බුද්ධි අංශ ප්‍රධානියා ළඟදීම අත්අඩංගුවට පත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
ඒ අනුව වව්නතිව් හී දී පොලිස් කොස්තාපල්වරුන් වූ නිරෝෂන් ඉන්දික හා දිනේෂ් අලගරත්නම් යන නිලධාරීන් දෙදෙනා 2018 නොවැම්බර් මස 29 වන දින ඝාතනය කර ඔවුන්ට අයත් පොලිස් ගිනි අවි දෙකක් පැහැර ගැනීම සම්බන්ධ සිද්ධියේ දී එම සිද්ධියේ සැකකරු යැයි ඇඟවෙන ආකාරයට හිටපු LTTE සාමාජිකයෙකුගේ නිවසේ තිබූ ජැකට්ටුවක් සොරා ගෙන එය ඝාතනය සිදු වූ ස්ථානයට ආසන්නයේ ඇති වෙල් යායක බෝක්කුවක් යටට දමා ඇත්තේ මෙකී බුද්ධි ප්‍රධානියා විසින් බවට සැක කරන තොරතුරු, විමර්ශනවල දී හෙළ වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් පසුගිය අප්‍රේල් මස 08 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු මෙම ජැකට්ටුව බෝක්කුව යට ඇති බවට තොරතුරු පොලිසියට ලබා දී ඇති පුද්ගලයා යැයි සඳහන් වනවා. ඒ අනුව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හා විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
මෙම ඝාතනය සිදු කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුලු කණ්ඩායම වුව ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු LTTE සාමාජිකයෙක් වන අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් නමැත්තායි. ඒ 2018 දෙසැම්බර් මස 02 වැනිදා මඩකලපුවේ දී වන අතර, එසේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අජන්තන් මාස පහකට අධික කාලයක් ආරක්ෂක අංශ විසින් රඳවා ගෙන විමර්ශන පැවැත් වූ බව ද සඳහන් වනවා.
අජන්තන් අත්අඩංගුවට ගන්නේ වව්නතිව්හි මුරපොළ ආසන්නයේ ඇති බෝක්කුවක් යට තිබී සොයා ගත් ජැකට්ටුව පොලිස් නිල සුනඛයන් විසින් කළ ඉව කිරීමකින් අනතුරුව ය. මෙම ද්විත්ව ඝාතනයෙන් දින තුනකට පසු සොයා ගෙන තිබුණු එම ජැකට්ටුව වැටී තිබුණා යැයි කියන බෝක්කුව අසල කුඹුරක් ද ඇති අතර, කුඹුරේ වගා කටයුතු කරන ගොවියා පවසා තිබුණේ “තමා කුඹුරට යන්නේ එම බෝක්කුව අසලින් බැස බවත්, පෙර දිනයේ දී මෙවැනි ජැකට්ටුවක් එහි නො තිබූ බවත්” ය. මෙම ජැකට්ටුව පෙර දින වර්ෂාව ඇද හැලී තිබිය දී වුවත් අලුත් පෙනුමට දිස් වූ බවයි සඳහන් ව තිබෙන්නේ.
කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම ජැකට්ටුව සොයා ගැනීමෙන් අනතුරුව පොලිස් සුනඛයා ගමන් කර ඇත්තේ අජන්තන් වව්නතිව් හී පදිංචි ව සිටි නිවස වෙත වන අතර, එහි දී අජන්තන් එය තමාගේ ජැකට්ටුව වන බව ද පිළිගෙන ඇති බව දැක්වෙනවා.
මෙම ද්විත්ව ඝාතනයට අජන්තන් හෝ LTTE සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අනාවරණය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පැවති පරීක්ෂණ හමුවේ දී යි. ඒ සහරාන්ගේ රියදුරා අත්අඩංගුවට ගැනීමත් සමඟ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය ඔවුන් විසින් සිදු කළ බව හෙළි කිරීමත් සමගයි.
මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙක් වන මොහොමඩ් මිල්ලාන් නමැති අය සෞදියේ ජෙඩාවල දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අවස්ථාවේ දී සිදු කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ වළ දමා තිබී පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැර ගත් ගිනි අවි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවක ජනාධිපතිවරයා විසින් පත් කළ මලල්ගොඩ කමිටුවේ නිර්දේශවල “2019.04.21 වන දින එල්ල වූ ප්‍රහාරය හුදෙක් මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානය සහ ඔවුන්ගේ හිතවාදීන් විසින් පමණක් සිදු කළ ක්‍රියාවක් ද එසේ නොමැති නම්, මෙම ප්‍රහාරය පිටුපස වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් පැවතිය ද යන්න කඩිනමින් අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය වන බව” ට සඳහන් ව තිබූ එහෙත් තවමත් ක්‍රියාත්මක නො වූ නිර්දේශය, මෙම සිද්ධීන් හරහා නැවත නැවතත් අපට මතක් කර දෙනු ලබන්නේ බොරු සාක්ෂි හදා අහිංසකයන් බිලි ගනිමින් මෙවැනි සිද්ධි යට ගැසීමට රාජ්‍ය බුද්ධි සේවය පෙළඹවීම ට තරම් එම අදෘශ්‍යමාන බලවේගය බලවත් ව තිබී ඇති බව නොවේ ද ?
ප්‍රතිචාරයක් ලබාදෙන්න