ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි, ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව පුළුල් කරන ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලු පාර්ශ්වයන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
2024 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයින් 451 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම වැටලීම්වලදී ගංජා කිලෝ 3570කට ආසන්න ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040කට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 61කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍යය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය වෙත භාර දී ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න