කතරගම රක්ෂිතයේ නීති විරෝධීව ඉදිකර ඇති ගොඩනැඟිල්ලකට ජී. රාජපක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් එම ගොඩනැඟිල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බව වාර්තා වේ.
කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයට අයත් ඉඩම් කොටසක ඉදිකර ඇති මෙම කාමර 12ක පමණ වූ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකළ අතර, ඊට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ඇත්තේ පසුගිය 17 වෙනිදායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පැය දෙකහමාරක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.
මෙම ඉදිකිරීම සිදුකර ඇත්තේ, 2010 වසරට පෙරදී බව අනාවරණයවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම ඉදිකිරීම් හමුදාවේ කණ්ඩායමකගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකර ඇති බවයි.
ඉදිකිරීම්වලින් පසු එම ගොඩනැඟිල්ල බලාගෙන සිට ඇතැයි පැවසෙන්නේ නාවික හමුදාවේ සාමාජිකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතෙක් වන යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිට ඇතැයි පැවසෙන නාවික හමුදා සාමාජිකයා බවයි පැවසෙන්නේ. ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 03 වෙනිදා ප්රශ්නකර තිබූ අතර එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.
යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත. ඒ ඉකුත් දෙසැම්බර් 27 වැනිදාය.
රජයේ රක්ෂිතයක ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ දී ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව එම විමර්ශනය ඇනහිට ඇති අතර, එම ගොඩනැඟිල්ලට ලබාගෙන ඇති විදුලියට බිල්පත් ලැබෙන්නේ ජී. රාජපක්ෂ නමැති අයෙකුගේ නමට බවත් සඳහන්ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න