නීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (16) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර නීතීඥ වන්නිනායක මහතා ඊයේ දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙන බව දැනුම් දුන්නේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය යන මහත්වරු ද එම ඉල්ලීමට එකගතාවය පළ කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *