මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්.!

ශිව දෙවියන් සහ ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” මහා ශිව රාත්‍රි දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.

  • උපුටා ගැනීම –

“ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රි දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙයින් සිහිපත් කෙරේ.

එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරයි. එහෙයින් ‘මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා’යි යන ප්‍රාර්ථනයෙන් මෙදින රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති. එමෙන්ම ජීවිතයේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීමද මහා ශිව රාත්‍රී දිනයේ දී සිදුකෙරේ.

ශිව හා පාර්වතීගේ එක් වීම සවිඥානයේ හා ශක්තියේ එක් වීමකි. එය, දෑස් වසා ලූ මෝහයේ තිරපට ඉරා යථාවේ ආලෝකයට දෑස් විවර කිරීමකි. මේ මොහොත යුග ගණන් අප සහෘදත්වයෙන් දුරස් කර ලූ භේද-බිඳුම් නිර්මාණය කළ අශිෂ්ට අඳුරේ තිරකඩ ඉරා එකමුතුව මුළු බඳිමින් මේ බිම මත නව යුගයක උදාව අත්විඳිමින් සිටින අවස්ථාවකි.

අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතකි.

ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතුය.

සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනඟනු වස් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා අප මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු.

මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කර අප තෝරා ගත් එ’මඟ වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැ’යි ලක් වැසි ඔබ සියලුදෙනාට මම ආරාධනා කරමි. මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලොව පුරා හින්දු ජනතාවගේ යහපත් සිතුම්-පැතුම් ඉටු වී ජීවිත අර්ථවත් වේවා’යි ප්‍රාර්ථනා කරමි.”

  • උපුටාගැනීම අවසන් –
Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *