බැංකු කළමනාකරුවන් සිව්දෙනා ගැන තවත් කරුණු රැසක් නලින්ද හෙළි කරයි

මෙරටින් පිටට නීතිවිරෝධීව අමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදලක් උණ්ඩියල් ක්‍රමය යටතේ ප්‍රේෂණය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් 4 දෙනා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) කරුණු රැසක් අනාවරණය කරනු ලැබීය.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම කළමනාකරුවන් සිව්දෙනා අවස්ථා 10,151ක කදී ගිණුම් 89ක් මගින් මුදල් නීති විරෝධීව ප්‍රේශණය කර ඇතැයි මේ වන විට අනාවරණය වී ඇති බවය.

මෙම වසරේ ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ වූ බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පසුගිය ජූනි 19 වැනි දින මීගමුව ප්‍රදේශයේදී එක් අයෙකු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

එහිදී සිදුකරන ලද වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් මත මෙම බැංකු කළමනාකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් සම්බන්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, 

“2026 ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් FCID එකට කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශන කටයුතු ආරම්භ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාම ගිණුම් 210ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අධිකරණ අවසරය ලැබිලා තියෙනවා. ඒ සිදුකර ලද විමර්ශනයේදී 2026-06-19 වන දින මීගමුවෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා ඔහුට දින 7ක රඳවා ගැනීම් නියෝග ලබා දීලා දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. ගිණුම් 89ක් මගින් මුදල් ප්‍රේශණය කරලා තියෙනවා අවස්ථා 10,151කදී. රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74ක්. එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් යටතේ මෙය සිදුකරලා තිබෙන්නේ.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *