ශිරාන් බාසික් CCIBයට

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.

සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර දී ඇත.

සැකකරුවන් ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

48 හැවිරිදි දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු වන අතර ඔහු 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබුණි.

සැකකරු ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පැවසුවේ සැකකරුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් / හානියන් සිදු කිරීම යන චෝදනා ගොනුව පවතින බවය.

එමෙන්ම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳවද ඉදිරීයේදී විමර්ශන සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *