කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සමඟ සැපයුම් ආයතනයක් පාරිභෝගික අධිකාරිය වටලයි.

කල් ඉකුත් වූ, තොරතුරු රහිත ඖෂධ සහ මිල වෙනස් කළ වෛද්‍ය උපකරණ තොගයක් සමඟ බණ්ඩාරවෙල ඖෂධ සැපයුම් ආයතනයක් පාරිභෝගික අධිකාරියෙන් වටලා තිබේ.

එහිදී එම අධිකාරියේ භාරයට ගත් මෙම මුළු ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් දස ලක්ෂය ඉක්මවන බව සඳහන්ය. 

ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (05) දින බණ්ඩාරවෙල, ඇටම්පිටිය පාරේ පිහිටි මෙම ඖෂධ සැපයුම් ආයතනය වැටලීමට ලක්කරන ලදී. 

එහිදී කොඳු ඇට පෙළ, උරහිස්, ගෙල, අත් සහ පාද සඳහා වන විවිධ වර්ගයේ අස්ථිරෝග හා වෛද්‍ය ආධාරක උපකරණ සහ විශේෂ වෛද්‍ය මේස්  ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇත. 

තොරතුරු සඳහන් නොමැති ප්‍රතිජීවක, අසාත්මිකතා සඳහා වන ඖෂධ,ආමාශයික තුවාල හා අම්ල පිත්ත රෝග සඳහා වන ඖෂධ, සමේ රෝග සඳහා වන ඖෂධ, ඇස් සහ කන් සඳහා වන ඖෂධ බිංදු සහ ශ්වසන රෝග සඳහා වන ඖෂධ ඇතුළු පෙති, කරල් සහ දියර ඖෂධ වර්ග 1,200කට ආසන්න ප්‍රමාණයක් එම අධිකාරියේ භාරයට ගෙන තිබේ. 
විශේෂයෙන්ම, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඖෂධ ආනයන සමාගමකට අයත් හිස් ලේබල් ස්ටිකර් තොගයක් ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්ය. 

ඒවා භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ලේබල් හා මිල ගණන් වෙනස් කිරීමේ කටයුත්තක් සිදුවී ඇත්දැයි පාරිභෝගික අධිකාරිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි. 

වැඩිදුර විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අදාළ වෙළෙඳුන්ට එරෙහිව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය පැවරීමට කටයුතු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *