පෙරේදා (26) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති අවස්ථාවේ අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල කළ විපක්ෂයේ දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ විසින් මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇත.
ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටිනා බවත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
ඒ අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලනඥයෝ ද සිටිනා බවත් කොළඹ හා අවට ප්‍රදේශවලින් බස් රථ යොදා ගනිමින් මේ පිරිස් කොටුව අධිකරණය අසලට ගෙනැවිත් ඇති බවත්, ඒ සඳහා මුදල් වියදම් කළ පුද්ගලයන් හඳුනාගනිමින් සිටින බවත් බුද්ධි අංශ හඳුනාගෙන තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට රැස්ව සිටි මේ පිරිසට කිරි පැකට්, වතුර බෝතල් සහ ආහාර වර්ග පවා විපක්ෂයේ දේශපාලනඥයන් විසින් බෙදා දී ඇතැයි අනාවරණය කරගෙන තිබේ.
බුද්ධි අංශ නිලධාරීන් ඒ සියල්ලක්ම නිරීක්ෂණය කර සිය වාර්තාවලට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගයට අනුව ඊයේ (27) වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශන ආරම්භ කර තිබිණි.
බුද්ධි වාර්තා මෙන්ම විමර්ශන තොරතුරු ඔස්සේ ද අධිකරණය අසලට පිරිස් රැස්කළ අය පැහැදිලිවම හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මේ විමර්ශනයට අදාළව බුද්ධි අංශ විසින් ගත් වීඩියෝ සහ ඡායාරූප දර්ශනත්, අධිකරණය අසලට පිරිස් රැස්කිරීමට කල්තියා සිටම පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කටයුතු කරමින් විවිධ ප්‍රකාශ කළ පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඊයේ ම ආරම්භ කළ බව එම නිලධාරියා කීවේය. ඊට අදාළ සංස්කරණය නොකළ දර්ශන මාධ්‍ය ආයතනවලින් ගැනීමට ද කටයුතු කරනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ඍජු අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් මේ විමර්ශනය සිදු කරන බව ද එම නිලධාරියා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉකුත් 22 වැනිදා අධිකරණ ශාලාවේ රැඳෙමින් එහි සිදු වන දෑ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත. එම විමර්ශනය සිදු වන්නේ තාක්ෂණික මෙහෙයුමක් ලෙස බවත්, ඒ ඔස්සේ සැකකරුවන් හඳුනාගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා පැවසීය.
එදින වැඩි වශයෙන් අධිකරණ ශාලාවේ රැඳී සිටියේ නීතිඥවරුන්ට අමතරව විපක්ෂයේ දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් බැවින් ඒ අය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන පැවැත්වනු ඇති බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
-Dinamina



ප්‍රතිචාරයක් ලබාදෙන්න